රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ජුලි මාසයේ අග වන විට ශ්‍රී ලංකාව IMF සමග ඇති කරගත් කැපවීම් වලින් 35ක් සම්පූර්ණ කර ඇති අතර 7ක් සම්පූර්ණ කිරීමට අසමත් වී ඇත 

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීමට වෙරිටේ රිසර්ච් හඳුන්වාදුන් IMF මීටරයට අනුව, 2023 ජූලි මාසය වන විට එම වැඩසටහනේ ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100කින්, 35%ක් ඉටු කර අවසන්ව ඇත. 15%ක කැපවීම්වල ප්‍රගතිය “නොදනී” ලෙස වර්ග කර ඇත.

“නොදනී” ලෙස වර්ග කර ඇති කැපවීම්වල ප්‍රතිශතය 2023 මාර්තු මාසයේ සිට ජූලි මාසය දක්වා ගෙවී ඇති කාලය ඇතුළත 9%ක සිට 15%ක් දක්වා ඉහළ ගොස් තිබෙණ බව, වෙරිටේ රිසර්ච් වැඩිදුරටත් පවසයි.

“නොදනී” ලෙස වර්ග කර ඇති කැපවීම් එසේ වර්ග කර ඇත්තේ ප්‍රගතිය තක්සේරු කිරීමට කිසිඳු දත්තයක් නොමැති පසුබිමක ය. එම කැපවීම් ඉටුකිරීමට එකඟ වූ කාල සීමාව පසුකර තිබිය දී, පවා එම දත්ත සොයාගැනීමට තිබී නැත.

මෙම තත්ත්වය වැඩසටහනේ ප්‍රගතිය අරබයා ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යන විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු මතුකරන්නක් බව ද, වෙරිටේ රිසර්ච් කියයි.

"නොදනී" කාණ්ඩයේ කැපවීම් ඉහළ යාමට හේතු මොනවාද?

IMF  මීටරය, IMF වැඩසටහනේ ඇති කැපවීම්වල ප්‍රගතිය වර්ග කරන්නේ “ඉටුකළ”, “ඉටු නොකළ” සහ “නොදනී” ලෙස ය.

"නොදනී" ලෙස වර්ග කර ඇති කැපවීම් සංඛ්‍යාව ඉහළ යාම කරුණු දෙකක් මත පදනම් විය හැකි බව වෙරිටේ රිසර්ච් සඳහන් කරයි. පළමුවැන්න, ආණ්ඩුව මෙම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී තිබීම නිසා තමන්ගේ අසාර්ථකත්වය පිළිගැනීම ප්‍රමාද කිරීමට තොරතුරු ප්‍රසිද්ධ නොකිරීම ය. ජනතාව හෝ පාර්ලිමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කාර්යයේ වැදගත් පාර්ශවකරුවන් ලෙස නොසළකන නිසා ඔවුන්ට තීරණාත්මක තොරතුරු ලබාදීමට ආණ්ඩුව උනන්දුවක් නොදැක්වීම දෙවැන්න ය.

ශ්‍රී ලංකාවට තමන්ගේ ප්‍රගතිය කඩිනම් කළ හැකි ද?

ජුලි මාසය අවසන් වන විට IMF වැඩසටහනට අදාළව ඉටු කළ යුතුව තිබූ කැපවීම් 57න් 35ක් ශ්‍රී ලංකාව ඉටු කර ඇති අතර, එය ජූනි මාසයේදී ඉටුකළ කැපවීම් 33ට වඩා වර්ධනයකි. ජූලි මාසයේ දී, පාර්ලිමේන්තුව වැදගත් පනත් දෙකකට අනුමැතිය ලබා දුන්නේය. එ්වා නම්, ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ දූෂණ විරෝධී පනත යි. මෙම පණත් අනුමත කිරීමට නියමිතව තිබුණේ පිළිවෙළින් 2023 අප්‍රේල් සහ ජුනි මාසවලදී ය. ශ්‍රී ලංකාව ඉදිරියට යමින් සිටින්නේ කලින් එකඟවූ කාලසීමාවන් අනුව නොව සැළකිය යුතු ප්‍රමාදයක් සහිතව බව මෙයින් පෙනී යයි.

මාර්තු මාසයේදී, ඒ වන විටත් ඉටු කර තිබූ කැපවීම් 25ක් සමඟින්, ශ්‍රී ලංකාව විසින් IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි ලා හොඳ ආරම්භයක් සනිටුහන් කළ අතර, පසුව කැපවීම් ඉටු කිරීමේ සාමාන්‍ය අනුපාතය මසකට කැපවීම් 03කට වඩා අඩු විය. සැප්තැම්බර් අග වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනය සිදුකර අරමුදල්වල දෙවන වාරිකය ලබා දීමට නියමිත කාලයේ, ශ්‍රී ලංකාව කැපවීම් 71 ක් ඉටු කර තිබිය යුතුය. මෙම ඉලක්කය කරා ළඟා වීමට නම්, ශ්‍රී ලංකාව අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී, මසකට කැපවීම් 18ක් බැගින් ඉටු කළ යුතුය.

ප්‍රතිපත්ති හා බැදුණු ඕනෑම ක්‍රියාකාරකමකට අදාළව, එම ක්‍රියාකාරකමේ ප්‍රගතිය සම්බන්ධයෙන් නියමිත දිනයට මාස 2කට පසු වුවත් කිසිඳු තොරතුරක් ප්‍රසිද්ධ කර නොමැති නම් ඒවා “ඉටු නොකළ” කැපවීම් ලෙස වර්ග කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, “රජයට අයත් විශාලතම බැංකු දෙක සහ පෞද්ගලික අංශයේ විශාලතම බැංකු තුන වෙනුවෙන් අදාළ වන බැංකු සවිමත් කිරීමේ විධිවිධානයේ වත්කම් ගුණාත්මකතා සමාලෝචනය සංරචකය සම්පූර්ණ කිරීම” යන අප්‍රේල් මාසයේ සම්පූර්ණ කිරීමට  නියමිතව තිබූ කැපවීම, "නොදනී" සිට ඉටු නොකළ කැපවීමක් ලෙස නැවත වර්ගීකරණය කර ඇත. ජූලි මස අග වන විට, සම්පූර්ණයෙන් කැපවීම් 07ක් "ඉටු නොකළ" කැපවීම් ලෙස වර්ගීකරණය කර ඇත.

“IMF මීටරය” දැන් manthri.lk හරහා මහජනතාවට විවෘතව පවතී. වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න: https://manthri.lk/en/imf_tracker වෙත පිවිසෙන්න

2023-08-22
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න